ඉන්දීය ප්‍රිමියර් ලීගය තිර පිටපතක්ද?
ක්‍රිකට් ලෝක කුසලානය හැරුණු විට ලොව ප්‍රේක්ෂකයන් වැඩිම ගණනක් උමතුවෙන් මෙන් නරඹන ක්‍රිකට් සැණකෙළිය කුමක්දැයි යන්න අයෙක් විමසුවහොත්, එක හෙළාම එය ඉන්දීය ප්‍රීමියර් ලීගය යැයි ඔබට පිළිතුරු සේ ලැබෙනු ඇත. එවන් තරගාවලියක් කොරෝනාවට බයේ හෝ නවත්වන්නට එරට සංවිධායකයන් පසු නොබසින්නේ ඒ නිසාය. ‘ඉන්දියාවේ බැරි නම් කොහේ හෝ දිල්ලියක’ මේ ක්‍රිකට් සැණකෙළිය ඔවුන් අනිවාර්යයෙන්ම පවත්වන්නේය.
ඇමරිකානු කොරෝනා අඳෝනාවට කරට කර ඇවිලෙන ඉන්දියාවේ, 2020 වසරට ක්‍රීඩාව තහනම් විය. මෙවර අයි.පී.එල්. තරගාවලිය වැලිකතරට සංක්‍රමණය වන්නේ නැවත ලෝක බුකීකරුවන්ට වසන්තය ගෙන එන්නට යැයිද වරෙක විදෙස් මාධ්‍යවලද සඳහන් වන්නේ මේ තරම් තරගාවලි නවතිද්දී මෙයට පමණක් අවසර ලැබෙන්නේ කෙසේද යන්න පැනයක් ඉතිරි කරමිනි.
ඉකුත්දා තරගාවලිය ඇරැඹිණි. අයි.පී.එල්. සංග්‍රාමයේ දෙවන තරගය වනවිටම ප්‍රේක්ෂකයා බලාසිටි විමතිය උදාවන්නට විය. දෙවන තරගයම ලකුණු සමව අවසන් විය. එය ලෝකයේ ලක්ෂ ගණන්, මිලියන ගණන් බුකීකාරයන්ට රජමගුල් ගෙන එන්නක් විය. තරගය දිල්හි කැපිටල්ස් සහ පන්ජාබ් පිල අතර පැවතිණි. තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී මයන්ක් අගර්වාල් ලද ද්විත්ව ලකුණක එක් ලකුණක් කෙටි බව පිටියේ විනිසුරු නියෝග කළේය. නමුත් පුනරූවල එම ලකුණ නීත්‍යනුකූල විය. පන්ජාබයට එම ලකුණ තිබුණි නම් ඔවුන් තරගය ජය ගෙනය. නමුත් තරගයෙන් අනතුරුව බලධාරීන් කිසිවෙකුත් මේ ගැන උනන්දුවක් නොවීය. පන්දුවාර 20 තරගයක ලකුණු 200 යනු නියත ජයක දැවැන්ත ඉලක්කයකි. නමුත් ඉන්දීය ලීගයේ තරග දෙක තුනක් ගතවෙත්ම ලකුණු 200 සීමාව පැන්නූ තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය. ඔවුන්ට නම් 200 සීමාව ‘කිරිකජු’ ය. මේ අසාමාන්‍ය තරග ක්‍රමයද ප්‍රේක්ෂකයා තුළ දැඩි කතාබහට ලක්විය. සමහරු ඇමරිකානු ‘රෙස්ලින් නාටකයේ’ දෙවන අදියර අයි.පී.එල්. ලෙසද හැඳින්වීය.
http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=32adaa5d&imageview=0
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බව අප සියල්ලන්ම පාහේ දන්නා නමුත් නිමා වූ තරග දෙස සංයමයෙන් බැලූ කළ වටහා ගත නොහැකි යමක් මෙතුළ පවතින බවද විදෙස් ප්‍රේක්ෂකයන් පවසයි.
‘කෝරා’ නම් වූ බ්ලොගය තුළ අදහස් බෙදා ගන්නා බොහෝ දෙනකු පෙර සැලසුම් කළ පිටපතකට අනුව මෙම තරග ක්‍රියාත්මක වන බවට උදාහරණ පෙන්වා දේ. ඒ අතර රාජස්ථාන් හි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර්ගේ පන්දු යැවීම, (බැංගලෝර් පිල සහ දිල්ලි පිල අතර තරගය) නව්දිව් සයිනි සහ මාකස් ස්ටොනිස් අතර ඇතිවූ සංවාදය වැනි දෑ වැඩි වශයෙන් විවාදයට ලක්විය.
මේ අතර පන්ජාබ් පිල සහ කොල්කටා පිල අතර පැවැති, තරගාවලියේ 24 වන තරගයේදී පන්ජාබයට අවසන් පන්දුවට ලකුණු 7ක් ලබාගත යුතුව තිබුණි. සුනිල් නරේන්ගේ පන්දුවට මැක්ස්වෙල් එල්ල කළ පහර හයේ සීමාව අසළම පතිත විය.එකවර එය 6ක්ද,4ක්ද යන්න ප්‍රේක්ෂකයාට පවා වටහාගත නොහැකි වූ තැන එම තරගයේ පිටියේ විනිසුරුවරයා වූ ක්‍රිස් ගැෆනි සැනෙකින් එය එක හෙළාම හතරේ පහරක් බවට සටහන් කළේය.තරගයේ තියුණු ජයක් අබියස, යාර 50කට එපිට පතිතවන පන්දුව නිවැරදිව කියන්නට ඔවුන් අවදානමක් ගත්තේ කෙසේද යන්නටම ගැටලුවකි. පසුව එම පුනරූපණ අන්තර්ජාලයේ සංසරණය වූ අතර එවිට එය හයේ සීමාව මත ස්පර්ශ වනු පෙනෙන්නට තිබිණි. නමුත් තරගයෙන් අනතුරුව හෝ කිසිදු කරුණු විමසීමක් සිදු නොවීය. ආසන්නතම තවත් උදාහරණයක් පෙන්වාදිය හැකිය. අයි.පී.එල්. තරගාවලියේ 29වන තරගය චෙන්නායි පිල සහ හයිද්‍රාබාද් පිල සමගින් පැවැත්විණ. එම තරගයේ චෙන්නායි පන්දු යවන්නා වූයේ ශර්දුල් තාකූර්ය. හයිද්‍රාබාද් ක්‍රීඩක රෂිඩ් ඛාන් පන්දුවට පහරදෙන අන්තයේ සිටියේය. තාකූර්ගේ පන්දුව වයිඩ් සීමාවෙන් එපිට පතිත විය. ඒ ක්ෂණයෙන් විනිසුරු පෝල් රයිෆල් වයිඩ් පන්දුව ලකුණු කරන්නට සැරසෙද්දීම චෙන්නායි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි විනිසුරු වෙත බලා රෞද්‍ර බැල්මක් හෙළීය. එය වයිඩ් පන්දුවක් නොවීය.
මෙවන් මෙකී නොකී බොහෝ දේ මත ඉන්දීය ප්‍රීමියර් ලීගය විදෙස් වෙබ් අඩවිවල හාස්‍යයට ලක්ව තිබේ. යහමින් මුදල් ‘ඉහළ පහළ’ යන බුකීකරුවන්ගේ වේදිකා මත ක්‍රිකට් ක්‍රීඩාව ‘වළපල්ලට’ යනු දැකීම කනගාටුවට කරුණකි. එය කුමක් හේතුවෙන් කව්රුන් විසින් කුමක් අරබයා පැවසෙන්නක් විය හැකිද? මේ අවස්ථා සම්බන්ධය ප්‍රකාශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකිවේද?
18/10/202 අරුණ පුවත්පතෙහි ක්‍රීඩ පිටුවෙන්
ඡායාරූපය -Animationxpress


Comments
Post a Comment