ලාංකේය ජාතික ශූරයා සහ ශූරියගේ දියණිය ඇමරිකාවේදී ශූරතා දිනයි

 



ඇමරිකානු මේස පන්දු ජාතික ශූරතාවේදී වයස අවුරුදු 11න් පහළ බාලිකා කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩිකාවක වන ටෂියා පියදාස විසින් දිනා ගෙන තිබේ.

ටෂියා, ශ්‍රී ලංකාවේ හිටපු ජාතික ශූරියක වූ රිෆ්කා කමිල්ගේ සහ ජාතික ශූරයෙකු වූ තිළිණ පියදාසගේ දියණියයි. ඇය මෙම තරගාවලියෙන් අනතුරුව ඇමරිකානු ජාතික වයස අවුරුදු 13න් පහළ සංචිතයට තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවති මෙම තරගාවලියේදී ටෂියා, පළමු වටයේ සිට දෙවැනි වටය දක්වා නිතරගයෙන් තේරී පත්වූ අතර දෙවැනි වටයේදී ෆියෝනා ඩබිනා සමගින් තරග වැදිණි. ෆියෝනා පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වූ ටෂියා එම වටයේදී ගීතා ක්‍රිෂ්ණාව පරාජයට ඇද දැමීය.

අවසන් මහා තරගයේදී ආසියානු සම්භවයක් ඇති යූ අභිගායි පරදවමින් ටෂියා වයස අවුරුදු 11න් පහළ ඇමරිකානු ශූරිය බවට පත්වූවාය.



වයස අවුරුදු 11න් පහළ ඇමරිකානු ජාතික සංචිතයට ටෂියා සහ ඇගේ සොයුරිය වූ ටියානා පියදාසද තේරී පත්ව තිබීම විශේෂත්වයකි. ටෂියාගේ මව වන රිෆ්කා, වරෙක ශ්‍රී ලංකා ජාතික මේස පන්දු සංචිතයේ නායකත්වයද උසුලා තිබේ.

චතුර රණසිංහ

(අරුණ - 12/07/2021)

Comments